වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

පොදු විනය නීතිරීති හා උපදෙස්

  • වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු - ශිෂ්‍යයාවක වශයෙන් ඔබ පෙ.ව. 6. 45-7.15 වන විට පාසලට පැමිණිය යුතුය. ප්‍රවාහන අපහසුතා ඇති සිසුන් ඒ පිළිබඳව විදුහල්පතිතුමන් දැනුවත් කර විද්‍යාලය මගින් ලබා දෙන අවසර පතක් භාවිතා කළ යුතුය.
  • උදෑසන පන්ති කාමර සහ තමන්ට පවරා ඇති පරිසර කොටස් පෙ.ව.7.20 වන විට පිරිසිදු කර අවසන් කළ යුතුය.
  • පෙ.ව.7.25 වන විට සෑම සිසුවකුම ආගම සිහි කිරීම සහ උදෑසන රැස්වීම් කටයුතු සඳහා නොපමාව සහභාගී විය යුතුය. පාසලේ ප්‍රධාන රැස්වීම සදුදා දින පැවැත්වෙන අතර අංශ මට්ටමින් ගන්නා රැස්වීම බදාදා දින පැවැත්වේ.
  • අනෙකුත් සෑම දිනකම පන්ති කාමරයේ සිට ආගමික වතාවත් සිදු කළ යුතුය.
  • ආගම සිහිකරන අවස්ථාවේ සිසුන් - ආචාර්‍ය මණ්ඩලය සහ අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනා ඒ සඳහා සහභාගී විය යුතු අතර වෙනත් කටයුතු වල නිරත නොවිය යුතුය.
  • ප්‍රධාන රැස්වීම පැවැත්වෙන අවස්ථාවන්හි දී සහෝදර ශිෂ්‍ය ප්‍රජාව සමග එක්ව පේළිවලට සකස් වී, ආචාරශීලිව හා නිශ්ශබ්දව ඒ සඳහා සහභාගී විය යුතුය.
  • පාසලට උදෑසන පිවිසීමේ දී සහ පාසල නිමාවී බැහැරව යාමේ දී ප්‍රධාන ගේට්ටුව පමණක් භාවිතා කළ යුතු අතර විශේෂ අවස්ථාවන් වලදී පමණක් සෙසු ගේට්ටු භාවිතා කළ යුතුය.
  • උදෑසන සහ සවස ගේට්ටුව අසල දී සිදුවන පරීක්ෂාව සඳහා සහභාගී වන ශිෂ්‍ය නායක නායිකාවන් හට සහ ගුරු මහත්ම - මහත්මීන් හට ඔබගේ සහයෝගය ලබා දිය යුතුය.
  • පාසල් පරිශ්‍රයේ දී ඔබට මුණගැසෙන විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරු ඇතුළු සියලුම කාර්‍ය මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන් සහ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනා වෙත "ආයුබෝවන්, සුභ උදෑසනක්, සුභ සන්ධ්‍යාවක්, තෙරුවන් සරණයි " යනා දී වශයෙන් ගෞරවාන්විතව සහ සහයෝගයෙන් හැසිරිය යුතුය.
  • ප්‍රමාද වී පාසලට පැමිණෙන්නන්, ශිෂ්‍ය නායක මණ්ඩලය වෙත ඒ බව දන්වා ප්‍රධාන ගේට්ටුව අසල දී තම ආගමික වතාවත් සිදු කර එහි දී ලබා දෙන්නා වූ විනය ක්‍රියා මාරග වලට අවනත වී කටයුතු කළ යුතුය. මෙම ක්‍රියාමාරග ලබා දෙනුයේ කලට වේලාවට වැඩ කිරීම යන පුරුද්ද ඔබ වෙත ඇති කිරීම සඳහා බව සලකා එම ක්‍රියාමාරග  වලට අවනත විය යුතුය. පාසල වෙත ප්‍රමාදව පැමිණ, පාසල තුළට හොරෙන් ඇතුළු වීම, පාසලෙන් බැහැර ස්ථාන වල කාලය ගත කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතුය.
  • පාසල් නිල ඇදුම මෙම අන් පොතෙහි දක්වා ඇති උපදෙස් අනුව සකස් විය යුතු අතර පාසල් බෑගය, සපත්තු සහ අනෙකුත් දෑ පාසල් සිසුවකුට ගැලපෙන පරිදි චාම්, සරල හා අවම මිල ගණන් යටතේ මිල දී ගත් ඒවා විය යුතුය.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පාසල තුළට රැගෙන ආ හැක්කේ අධ්‍යාපනික උපකරණ, ද්‍රව්‍ය සහ දිවා ආහාරය පමණි. ජංගම දුරකථන, පෙන් ඩ්‍රයිව්, ලැප්ටොප්, ටැබ් පරිගණක, අනෙකුත් සන්නිවේදන උපකරණ, කැමරා, අධ්‍යාපන කටයුතු වලට අදාළ නොවන ලිපි ලේඛන, මුදල් පසුම්බි, අත් ඔරලෝසු ඇතුළුව වෙනත් කිසිදු ද්‍රව්‍යක් හෝ උපකරණයක් පාසල වෙත රැගෙන ඒම පොදුවේ තහනම් වන අතර අධ්‍යාපනික හා විශේෂ අවශ්‍යතා සඳහා පමණක් අදාළ විෂය භාර ගුරුභවතා හෝ පන්තිභාර ගුරුභවනා විදුහල්පතිතුමන්ගෙන් ලබා ගත් විශේෂ අවසරයක් යටතේ අදාළ කාර්යය සඳහා පමණක් පාසල තුළට ඉහත සඳහන් කළ උපකරණ රැගෙන ඒම සිදු කළ යුතුය.
  • ඉහත සඳහන් සියලුම දෑ පරීක්ෂා කිරීමක දී හසුවුව හොත් ඒවා පරිපාලන ඒකකය වෙත රදවා ගනු ලබන අතර විධිමත් ක්‍රියාවලියකින් අනතුරුව ඒවා නැවත සිය මව/ පියා/භාරකරු අතට පත් කරනු ලැබේ. මෙම කටයුත්ත කෙරෙහි දෙමව්පියන් හො කිසිදු බාහිර පාර්ශවයක් විසින් ප්‍රශ්න කිරීමක් හෝ විරෝධතාවයක් දැක්වීම සිදු නොකළ යුතුය.
  • අංග සම්පූර්ණ නිල ඇදුමෙන් සැරසී සිටින සිසුන් පමණක් විද්‍යාල භූමියේ රැදී සිටිය හැකි අතර ඇතැම් නොවැළැක්විය හැකි සාධාරණ හේතූන් මත නිල ඇදුම, කොණ්ඩය, සපත්තු, ටයි ඇතුළු නිල ඇදුමට අයත් වෙනත් දෑ වල යම් වෙනසක් සිදු කිරීමට සිදුවේ නම් මව/ පියා/භාරකරු විසින් විදුහල්පති තුමන් වෙන අවශ්‍යතාවය දන්වා ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතුය.
  • පාසලෙන් අධ්‍යාපනය හමාර කොට, අවමය ආසන්න වසරක් දක්වා වන සිසුන් අස්වීම් සහතික, චරිත සහතික, අධ්‍යාපනික සහතික ලබා ගැනීම සඳහා විද්‍යාල භූමිය වෙත පාසල් නිල ඇදුමෙන් පැමිණිය යුතු ය. පාසල් නිල ඇදුමින් සැරසී කොණ්ඩය, රැවුල, නිය, සපත්තු, කරාබු ආදිය නොගැලපෙන ලෙස සකස් කර ගෙන ඉහත කාර්යයන් සඳහා පිවිසෙන ආදි සිසුන් විද්‍යාලය වෙත පිළි නොගන්නා අතර එය තමන් අධ්‍යාපනය ලද පාසල වෙත සිදු කරන නිග්‍රහයක් ලෙස සලකා කටයුතු කරනු ඇත.
  • සියලුම සිසුන් තම දිවා ආහාරය සඳහා පෝෂණීය ආහාර වේලක් නිවසෙන් රැගෙන ආ යුතු අතර එසේ නොහැකි අවස්ථාවල දී පමණක් ආපන ශාලාවෙන් නම දිවා ආහාරය මිල දී ගත යුතුය. ආහාර රැගෙන ඒමේ දී ආහාර පෙට්ටියක හෝ දිරාපත් වන දෙයක ඔතා හෝ රැගෙන ආ යුතුය. පොලිතීන් වල ඔතන ලද ආහාර පාසල තුළට රැගෙන ඒම තහනම් වන අතර ඇතැම් අවස්ථාවල සිදු කරන පරීක්ෂා කිරීම් වලදී පොලිතින් වල ඔතන ලද ආහාර පාසල තුළට ගෙන ඒම වැළැක් වුවහොත් එහි වරද හෝ අඩුපාඩුව තමන් විසින් පවරා ගත යුතුය.
  • ආහාර හෝ වෙනත් කිසිදු දෙයක් පාසල් පරිශ්‍රයෙන් බැහැර වෙළදසැල් වෙත ගොස් මිල දී ගැනීම පාසල් වේලාව තුළ නොකළ යුත්තකි.
  • පාසල තුළ ඇති විවිධ ක්‍රියාකාරකම් ඒකක (ශ්‍රවණාගාරය, විද්‍යාගාර, සෞන්දර්ය ඒකක, වැඩ කාමර ආදිය) භාවිතා කිරීමේ දී ඒවායේ ඇති උපකරණ පිටතට රැගෙනයාමේ දී එම ඒකක වල දොර අගුලු විවෘත්ත කිරීමේ දී සිසු සිසුවියන් විසින් අදාළ ඒකක භාරව කටයුතු කරන නිලධාරීන් දැනුවත් කිරීම අනිවාර්ය වන අතර අනුදැනුමකින් තොරව එම ඒකක භාවිතා කිරීම හෝ ඒකක තුළට ඇතුළු වීම බරපතල වරදක් ලෙස සලකනු ඇත.
  • පරිපාලන ඒකකයේ (කාර්යාලයේ) ඇති ලිපිගෙන, යතුරු ආදිය පරිහරණය කිරීම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නොකළ යුතුය. පන්ති නායක නායිකාවන් හට පමණක් පන්ති නාමලේඛන, වාර්තා පොත්, බැහැරයාමේ අවසරපත්, ආදිය කාර්යාලයෙන් ලබා ගැනීම සහ නැවන ගෙනැවිත් භාර දීම සිදු කළ හැකි අතර එම ලිපි ලේඛන ඉතා වගකීමෙන් පරිහරණය කිරීමට පන්ති නායක නායිකාවන් කටයුතු කළ යුතුය. එමෙන්ම පන්ති නායක නායිකාවන් විසින් නාමලේඛනවල හො වාර්තා පොත් වල සටහන් තැබීම කිසි ලෙසකින්වත් සිදු නොකළ යුතු කටයුත්තක් බව අවබෝධ කරගත යුතුය. ඒ එම ලේඛන වල සටහන් තැබීමේ පුර්ණ වගකීම ඇත්තේ පන්ති භාර ගුරුභවතා වෙත බැවිනි.
  • පාසල තුළ ඇති සියලුම දේපළ පොදු දේපළක් වන අතර ඒවා පරිහරණය කිරීමේ දි හානි නොවන ලෙස පරිහරණය කළ යුතුයි.
  • එමෙන්ම පාසල් පරිසරයේ පිරිසිදු බව රැක ගැනීමට කටයුතු කිරීම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් විසින්ම සිදු කළ යුතු කාර්යයකි.
  • වැසිකිළි කැසිකිළි භාවිතා කිරීමේ දී ඒවාගේ පිරිසිදු බව රැකෙන පරිදි භාවිතා කළ යුතුය.
  • වැසිකිළි කැසිකිළි භාවිත කළ පසු වතුර නොගැසීම, බිත්ති මත අසභ්‍ය වචන ලිවීම, පන්ති කාමරයේ ඇති ඩෙස් - පුටු සහ අනෙකුත් උපාංග වලට හානි කිරීම, වීදුරු බිඳීම ආදිය මනා විනකින් හෙබි සිසුවකු විසින් නොකරන කටයුතු බැවින් එසේ සිදු කිරීම විනය විරෝධී කටයුත්තක් ලෙස සලකා ක්‍රියාමාර්ග ගනු ඇත.
  • මේවා රැකගැනීම තුළින් අනාගතයේ මෙම පාසල වෙත ඉගෙනුම් කටයුතු සඳහා ඇතුළත් වන ඔබගේ සහෝදර සහෝදරියන් හට මනා ඉගෙනුම් පරිසරයක් දායක කිරීමේ පුරෝගාමියකු බවට පත් වීමටත් හානි වන දෑ යථා තත්වයට පත් කිරීම සඳහාවැය වන ඔබගේ ම දෙමව්පියන් ගේ සෘජු වියදම් සහ වක්‍රව ලබා දෙන බදු මුදල් ප්‍රමාණය අවම කිරීමට ඔබත් සාඩම්බර දායකයකු වනු ඇත.
  • සෑම විටම අනෙකාට ආචාරශීලීව සභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතුය. පාසලේ සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම සහෝදර සහෝදරියන් ලෙස සලකා ඔවුන්ගේ ආරක්ෂාව, ඉගෙනීම, ආත්මාභිමානය රැකෙන පරිදි හැසිරීම, ආමන්ත්‍රණය සහ කටයුතු කිරීම සිදු කළ යුතුය.
  • පාසල තුළ දී හෝ ඉන් බැහැරව තම මව/ පියා/ භාරකරු සමඟ පමණක් හැරුණ විට පාසලේ ඇති දුර්වලතා හෝ ගුරු භවතුන්ගේ, පාසල් පරිපාලනයේ අඩුපාඩු විවේචනය නොකළ යුතුය. මව පියා හො භාරකරු විසින් තම දරුවාගෙන් එවැන්නක් දැනගත් වහාම ඒ පිළිබඳව විදුහල්පති තුමන් සමඟ සාකච්ඡා කර ඒවා නිවැරදි කර ගැනීමට මඟ පෙන්විය යුතුය.
  • ගුරුභවතුන් සහ අනෙකුත් කාර්යය මණ්ඩල නිලධාරීන් තම ආචාර ධර්ම සකස් කර ගැනීමේ දී මේ වන විට බලපැවැත් වන්නා වූ 2012/37 චක්‍රලේඛය මනාව අධ්‍යයනය කර ඒ අනුව සිය හැසිරීම, විනය සකස් කර ගත යුතුය.

 

 

පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විනය

  • පාසල ආරම්භ වීමෙන් අනතුරුව ආගමික වතාවත් සහ රැස්වීම් කටයුතු නිමා වීමත් සමග සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ආරම්භ කළ යුතුය. පන්තිය හා මිදුල පිරිසිදු කිරීම් සහ වෙනත් කටයුතු පළමු කාලච්ඡේදය ආරම්භයට පෙර නිමා කිරීම සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේ ම වග කීමකි.
  • කාලච්ඡේද ආරම්භ වීමෙන් පසු විවේක කාලයේදී හැරුණ විට කොරිඩෝ මත රැස්ව සිටීම, ආපන ශාලාව වෙත යාම, එළිමහනේ ක්‍රීඩා කිරීම සෙසු පන්ති වල ඉගෙනුම් කටයුතු කෙරෙහි බාධා වන පරිදි කටයුතු කිරීම සිදු නොකළ යුතුය.
  • ඉගෙනුම් කාලච්ඡේදයක් අතරතුර සිසුවකු පන්තියෙන් බැහැරව යාම ය අවස්ථාවේ පන්තියේ සිටින ගුරු භවතාගේ අනුදැනුම මත පමණක් විය යුතු අතර සිසුන් බැහැරව යාමේ අවසර පත රැගෙන බැහැරව යාම අනිවාර්‍ය  වේ.
  • පන්තියේ ඉගෙනීම සිදුවන අවස්ථා වල අනවශ්‍ය ලෙස කෑගැසීම, සින්දු කීම, අනෙකුත් සිසුන්ට බාධා වන පරිදි කටයුතු කිරීම, ගුරුභවතුන්ගේ පාඩමට බාධා වන පරිදි කටයුතු කිරීම කිසිසේත්ම සිදු නොකළ යුතුය.
  • පාසල වෙත තමන් රැගෙන එන දෑ නැවත නිවස වෙත රැගෙන යාමට කටයුතු කළ යුතුය. ලියා අවසන් වූ පෑන්, සටහන් පොත්, පෙළපොත් ආදිය පන්තිය තුළ තබා යාම නොකළ යුතුය. තම උපකරණ තැබීමට විශේෂ ස්ථානයක් සකස් කර ඇති පන්තිකාමර වල පමණක් අවශ්‍යතාව පරිදි තම උපකරණ හා ද්‍රව්‍ය එහි තැබීමට හැකිය.
  • කිසියම් කාලච්ඡේදයක ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට සිටින ගුරු භවතා පන්තියට පැමිණීමට නොහැකි අවස්ථාවක ඒ වෙනුවට සහන කාලච්ඡේදයක් ලද ගුරුභවතකු පන්ති කාමරය වෙත යොමු කිරීම සහ පැවරුම් වැඩසටහනක් ලබා දීම සිදු කරනු ඇත. එසේ කිසිදු ගුරු භවතෙක් පන්තියට නොපැමිණ හොත් හො නොපැමිණේ යැයි හැගුණහොත් පන්ති නායකයා හෝ නායිකාව ඒ පිළිබඳව වහාම පරිපාලන ඒකකය වෙත පැමිණ විදුහල්පති හෝ නියෝජ්‍ය විදුහල්පතිතුමන් වෙන වාර්තා කළ යුතුය. අනෙක් සෑම විටකම අදාළ කාලච්ඡේදය තුළ පන්තියට වී පැවරුම් සිදු කිරීම හෝ සහන කාලච්ඡේදය සඳහා පැමිණෙන ගුරුභවතාගේ කාර්යයට සහය ලබා දිය යුතුයි.
  • ක්‍රීඩා තරඟ පැවැත්වෙන කාල සීමාවන්හි සෑම ශිෂ්‍යයකුම ක්‍රීඩා වැඩසටහන පිළිබඳව දැනුවත් වීම හා අදාළ වේලාවන් හි පමණක් ක්‍රීඩා කටයුතු සඳහා සහභාගී වීම සිදු කළ යුතුය.
  • පන්තිය සඳහා වසර මැද දී අලුනින් පැමිණෙන සිසුන් දැනට සිටින සිසුන් විසින් සාදරයෙන් පිළිගැනීම සිදු කළ යුතු අතර කායිකව හෝ මානසිකව හිරි හැරයක් වන ලෙස කටයුතු කිරීම බරපතල වරදක් ලෙස සලකා කටයුතු කරනු ලැබේ.
  • ඔබ කිසියම් ආබාධයකින් (පෙනීම, ඇසීම, චලනය හෝ වෙනත්) පෙළෙයි නම් ඔබගේ පන්තිභාර ගුරු භවතා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කළ යුතුය. එවිට ඔබගේ ආබාධය අනුව පන්තියේ පහසුවෙන් ඉගෙනීමට හැකි පරිසරයක් පන්තිභාර ගුරුභවතා විසින් සකස් කර දෙනු ඇත.
  • බාහිර ඒකක වෙත අධ්‍යාපන කටයුතු සඳහා ගමන් කිරීමේ දී (පුස්තකාලය, පරිගණක විද්‍යාගාර, සෞන්දර්ය ඒකක ආදී) කාලච්ඡේදය ආරම්භ වූ විගස හැකි ඉක්මනින් එම ඒකක වෙත ගමන් කළ යුතුය. මෙහිදී සිසුන් පේළියකට, නිශ්ශබ්දව ගමන් කළ යුතු අතර පාසලේ තැන තැන ගැවසීම හෝ කාලය නාස්ති කරමින් සිට අදාල ඒකක කරා යාම සිදු නොකළ යුතුය.
  • 12 - 13 ශ්‍රේණිවල සිසු සිසුවියන්ට අධ්‍යාපනික අවශ්‍යතාවයකට හැරුණ විට කනිෂ්ඨ පන්ති පැවැත්වෙන ප්‍රදේශයට යාම හෝ එම ප්‍රදේශයේ නිකරුණේ කාලය ගත කිරීම සපුරා තහනම් ය.
  • පාසල නිමා වීමෙන් අනතුරුව සියලුම සිසුන් " ඡත්ත මානවක ගාථා '' ශබ්ද නගා ගායනා කළ යුතු අතර පන්ති මට්ටමින් එක් පෙලකට පාසලෙන් බැහැරව යාම සිදු කළ යුතුය.
  • ඔබ විසින් මෙම පාසලේ ඉගෙනුම ලබන කාල සීමාව තුළ සහභාගී වන සෑම තරඟයක් සඳහාම පාසල නියෝජනය කරමින් සහභාගී විය යුතුය. විශේෂයෙන් ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වීමේ දී මෙම පාසල මගින් සහභාගී වීමට හැකියාව තිබිය දී වෙනත් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරඟ වැදීම සිදු නොකළ යුතුය. එමෙන්ම වෙනත් ආයතනයක් හෝ සංගමයක් මගින් කිසියම් තරගයකට සහභාගී වන්නේ නම් ඒ පිළිබඳව විද්‍යාලය දැනුවත් කිරීම අනිවාර්යය වේ.
  • සෑම සිසුවකුම පාසලේ පවත්වන සාධන පරීක්ෂණ, මාසික පරීක්ෂණ, වාර පරික්ෂණ සහ පාසල් පාදක ඇගයීම් සඳහා සහභාගී විය යුතු අතර නම් සාධන මට්ටම් සහිත ලකුණු වාර්තා තම මව/පියා/භාරකරු වෙත පෙන්වා සහතික කර නැවත පන්ති භාර ගුරුභවතා වෙත ඉදිරිපත් කළ යුතුය.
  • පන්ති රැස්වීම්, සංවර්ධන සමිති රැස්වීම් සඳහා සහභාගී වීම දෙමව්පියන් වන අධ්‍යාපන මට්ටම නිරන්තරයෙන් අදාළ ගුරුභවතුන් සමඟ සාකච්ඡා කළ යුතුය.
  • වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ සිසුවකු/ සිසුවියක වන ඔබට පහත සඳහන් කරුණු සිදු කිරීම සපුරා තහනම් වේ
  • පාසලට ඇතුළත්ව සිටින කාල සීමාව තුළ පාසල තුලදී හෝ පාසලෙන් බැහැරව නොමනා ලෙස, අනාචාරශීලීව හැසිරීම.
  • පෙම් සබදතා ගොඩනගා ගැනීම, පවත්වාගෙන යාම, ඒවාට අනුබල දීම.
  • අනවසරයෙන් පාසල තුළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම හා ඊට අදාළ මෙවලම් භාවිතය.
  • සමාජ මාධ්‍ය ඔස්සේ පාසලේ සිසුන්ගේ තොරතුරු හුවමාරු කිරීම.
  • අසැබි ඡායාරූප, වීඩියෝ ආදිය නැරඹිම, ළඟ තබාගැනීම හෝ සිසුන් අතර හුවමාරු කිරීම.
  • බුලත් විට, සිගරට්, දුම්කොළ, මල්පෙති, වෙනත් මත්ද්‍රව්‍ය, ශක්ති ජනක පාන වර්ග භාවිතා කිරීම, ළග තබා ගැනීම, බෙදා හැරීම.
  • පාසල ඉදිරිපට නිකරුනේ කාලය ගත කිරීම, පාසලට පිටතින් ලබා දෙන දෑ ගැනීම, පාසල් කාලය තුළ පිටස්තර පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීම.
  • විවිධ අපචාර ක්‍රියා සඳහා යොමු වීම, සෙසු සිසු සිසුවියන් යොමු කරවීම, ඊට අනුබල දීම.
  • අවසරයකින් තොරව පාසල් කාලය තුළ පාසලෙන් බැහැරව යාම.
  • පාසල් දේපළ වලට හානි සිදු කිරීම, සොරකම් කිරීම, නාස්ති කිරීම හෝ ඒවාට අනුබල දීම.
  • පාසල් කාලයෙන් පසු පාසල තුල අනවසරයෙන් රැදී සිටීම සහ පාසල නොපැවැත්වෙන දිනයන්හි අනවසරයෙන් පාසලට ඇතුළු වීම.
  • ගුරු භවතුන්ගේ දැනුවත් වීමකින් තොරව පාසල නියෝජනය කරන විවිධ වැඩසටහන් සඳහා සහභාගී වීම.
  • විශේෂ අවසරයකින් තොරව ප්‍රදේශයේ වෙනත් පාසල් වෙන ඇතුළු වීම හෙ එම පාසල් වල වැඩසටහන් සඳහා සහභාගී වීම.

 

ශිෂ්‍ය නායක මණ්ඩල සාමාජිකයකු/ සාමාජිකාවකගේ කාර්‍යභාරය හා විනය

  • වසරකට වරක් සෑම පන්තියක් නියෝජනය කරමින් සිසුන් ශිෂ්‍ය නායක මණ්ඩලය වෙත තෝරා ගනු ලබයි.
  • පාසල් පරිපාලනයට සම්බන්ධ අවසාන පාර්ශව කරුවන් ලෙස ශිෂ්‍ය නායක මණ්ඩලයට නම් ඉගෙනුම් කටයුතු වලට බාහිරව පාසලේ පරිපාලන කටයුතු සඳහා ද සම්බන්ධ වීමට සිදු වනු ඇත.
  • ප්‍රධාන / උප ප්‍රධාන ශිෂ්‍ය නායක/නායිකාවන් තම කණ්ඩායම භාරව සිටින ගුරු භවනා, සෙසු ඇදුරු මණ්ඩලය, සහකාර විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු සහ අවසාන වශයෙන් විදහල්පති සමග මනා සන්නිවේදනයක් පවත්වා ගත යුතුය.
  • සෑම ශිෂ්‍ය නායක / නායිකාවක්ම උදෑසන 7.00 වන විට පාසල වෙත පැමිණිය යුතුය. ඔබ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙත තෝරා ගැනීමේ දී කලට වේලාවට පාසලට පැමිණීමට ඇති හැකියාව පිළිබද කරුණු සලකා බලා ඇති බැවින් මෙය ප්‍රමුඛ කාර්‍යයක් ලෙස සැලකිය යුතුය.
  • සෑම ශිෂ්‍ය නායක/ නායිකාවක්ම සෑම විටම, සෑම ලෙසකින්ම පාසලේ අනෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආදර්ශමත්, ආචාරශීලී සහ මනා පෞරුෂයකින් හෙබි නායකයකු/ නායිකාවක ලෙස කටයුතු කළ යුතුය.
  • පොදුවේ සෑම ශිෂ්‍යයකුටම ශිෂ්‍යාවකටම බලපැවැත්වෙන විනය නීති රීතීන් ශිෂ්‍ය නායක මණ්ඩල සාමාජික ඔබට ද එලෙසින්ම බලපැවැත්වෙන අතර ඔබ වෙත පවරා ඇති ඇතැම් විශේෂිත වූ විනය නීතිරීතීන් පවතින බැවින් ඒවා හදුනාගෙන ඒ අනුව හැඩ ගැසීම සිදු කළ යුතුය.
  • කිසියම් විනය විරෝධී ක්‍රියාවක් ඔබ විසින් සිදු කරනු ලැබුව හොත් හෝ ඒවා සඳහා අනුබල ලබා දුන් බව විනය මණ්ඩලය ඉදිරියේ ඔප්පු වුවහොත් ඒ මොහොතේ සිට ඔබ වෙත ලබා දී ඇති ශිෂ්‍ය නායක නිලය අවලංගු වනු ඇත.
  • පාසලේ ප්‍රධාන රැස්වීම පැවැත්වීම, උදෑසන පරීක්ෂාව, පරිසර කලාප නිරීක්ෂණය, සහ සෙසු විශේෂ අවස්ථාවන් හිදී පාසල් සිසුන් මෙහෙය වීම සහ ඊට සහය ලබා දීම ඔබ විසින් අනිවාර්යයෙන් ම සිදු කළ යුතුය.
  • සිසුන්ගේ ගැටුම්, ගැටලු විසදීමේ දී ඔබ විසින් සෘජු මැදිහත් වීමක් සිදු නොකළ යුතු අතර ගුරු මහත්ම මහත්මියකගේ සහය ඒ සඳහා ලබා ගත යුතුය.
  • සෙසු සෑම සිසුවකුටම/ සිසුවියකටම ඔබ ආදර්ශමත් සහ හිතවත් ශිෂ්‍ය නායකයකු / නායිකාවක ලෙස හැසිරිය යුතු අතර බැණ වැදීම්, පහර දීම්. අපහාස කිරීම කිසි ලෙසකින් වත් සිදු නොකළ යුතුය.

ශිෂ්‍යයින්ගේ කමිසය සකස් විය යුතු ආකාරය.

  • ශිෂ්‍ය නායකයන් හැර අනෙක් සියලුම සිසුන් අත් කොට සුදු කමීසය ඇදිය යුතු අතර කමීසයේ අත, නම් වැලමිටේ සිට අඟලක් පමන ඉහළට වන සේ තිබිය යුතුය. අනවශ්‍ය ලෙස විශාල වීම හෝ ඇගට හිර වන සේ කුඩා වීම නොවිය යුතුය. ශිෂ්‍ය නායක මණ්ඩලයේ ශිෂ්‍යයන් ඇඳිය යුත්තේ සුදු අත් දිග කමිසය වන අතර අනෙකුත් අංග ඒ ආකාරය යන්නේ ඇතුලත්ව තිබිය යුතුය.
  • කමිසයේ වම පස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය. මෙම සාක්කුවේ දකුණු පස ඉහළ කෙළවරේ පාසල් ලාංඡනය ස්ථිරව මසා තිබිය යුතුය.
  • කමිසයට බොත්තම් 5ක් ඇතුළත් විය යුතු අතර කොලරයේ බොත්තම් නොතිබිය යුතුය.
  • කමිස බොක්ස් (Box) හැඩයේ ඒවා විය යුතුය. හොදින් කලිසමට යට කිරීමට හැකි වන පරිදි ප්‍රමාණවත් දිගකින් යුතු විය යුතු අතර කමිසය ඇද කලිසමට යට කළ පසු බොත්තම් 04 ක් පමණක් පිටට පෙනීය යුතුය.
  • ශිෂ්‍ය නායකයින් හට කිසිසේත්ම තම අත් නවා නිල ඇඳුම ඇඳ සිටීමට අවසර හිමි නොවේ.
  • ශිෂ්‍යයින්ගේ කලිසම සකස් විය යුතු ආකාරය.
  • 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් නිල් පැහැ කොට කලිසම ඇදිය යුතු අතර 10 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සුදු පැහැ දිග කලිසම ඇදිය යුතුය.
  • නිල් පැහැ කොට කලිසම දනහිසේ සිට අඟල් 3 ක් ඉහළට වන සේ සකස් කරගත යුතු අතර කලිසම දෙපස සාක්කු දෙකක් සහ පසුපස දකුණු පැත්තේ එක් සාක්කුවක් බැගින් විය යුතුය.
  • සුදු දිග කලිසම දිග පාදයේ වළලු කර දක්වා විය යුතුය. එහි කෙළවර වාටිය අඟල් 16 ක් විය යුතු අතර කලිසම දෙපස සාක්කු දෙකක් සහ පසුපස දකුණු පැත්තේ එක් සාක්කුවක් බැගින් විය යුතුය.
  • කලිසම ඉදිරිපස රැලි දෙක බැගින් දෙපසින් තිබිය යුතුය.
  • ලෝහමය බොත්තම් ඇල්ලීම, විවිධ ස්ටිකර් වර්ග හෝ බැජ් වර්ග ඇල්ලීම, ඉලාස්ටික පටි දැමීම, ශරීරයට හිරට සිටින සේ මැසීම, ආදිය සිදු නොකළ යුතුය.
  • කලිසම ඇදීමේ දී කමිසයේ බොත්තම් 4 ක් පෙනෙන සේ ඉන නාභිය දක්වා ඉහළින් ඇදිය යුතුය.
  • ශිෂ්‍යයින්ගේ සපත්තු මේස්, යට ඇදුම් සකස් විය යුතු ආකාරය.
  • ලේස් ගැටගැසිය හැකි හෝ වෙල්කුල් යෙදූ ඉදිරිපස රවුම් හැඩැති සරල විලාසිතාවයකින් යුතු සපත්තු, කලු පැහැ මේස් සමගින් සෑම සිසුවකුම පැළදිය යුතුය.
  • ඉහළට නැවී ඇති, බූට් වර්ගයේ, විවිධ මෝස්තර හා වර්ණ සහිත, සපත්තු පැළදීමට අවසර හිමි නොවේ.
  • ශිෂ්‍යභට සහ ක්‍රීඩා කටයුතු සඳහා සහභාගී වන සිසුන් අදාල විෂයයන් භාර ගුරුභවතුන්ගේ විශේෂ අවසරයක් මත කලු පැහැති කැන්වස් සපත්තු පැළදිය හැකි අතර ක්‍රීඩා සඳහා විශේෂයෙන් සකස් කරන ලද සපත්තු වර්ග පාසල් අධ්‍යයන කාලය තුළ පැළද සිටිය නොහැක.
  • කිසියම් ආබාධයක්, තුවාලයක් හෝ වෙනත් විශේෂ කරුණක් මත සපත්තු පැළදීමේ හැකියාවක් නොමැති නම් ඒ වෙනුවට තම පන්තිභාර ගුරුභවතාගේ හෝ විදුහල්පතිතුමන්ගේ අවසරය පිට කලු පැහැති රබර් සෙරෙප්පු දෙකක් භාවිතා කිරීමට තාවකාලිකව ඉඩ කඩ ලබාගත හැකිය.
  • සෑම ශිෂ්‍යයකුම තම නිල ඇදුම ඇදීමට පෙර සුදු පැහැති අත් කොට බැනියමක් සහ සෞඛ්‍යාරක්ෂිතව සකස් කරන ලද යට කලිසමක් ඇදීම අනිවාර්ය වේ.
  • ශිෂ්‍යයින්ගේ හිස, රැවුල, නිය ආදිය සකස් විය යුතු ආකාරය.
  • සෑම ශිෂ්‍යයකුම කොණ්ඩය පීරීමට හැකි වන සේ කොටට කපා තෙල් යොදා පැත්තට පීරා තිබිය යුතුය. වෙනත් කිසිදු විලාසිතාවක් අනුව තම කොණ්ඩය සකස් කිරීම පාසල් විනය කඩ කිරීමක් ලෙස සලකනු ලැබේ.
  • හිසකේ වර්ණ ගැන්වීමට අවසර නොමැත. තවද විවිධ ආලේපන වර්ග යොදා කොණ්ඩය පීරීමට ද අවස්ථාව හිමි නොවේ.
  • සෑම සිසුවකුම නිරතුරුව නම නිය කොටට කපා තිබිය යුතුය.
  • විවිධ සුවද විලවුන් වර්ග භාවිතා කිරීම, අධ්‍යයන කාල සීමාව තුළ හිස් වැසුම් පැළදීම ආදිය සිදු නොකළ යුතුය.
  • සෑම ශිෂ්‍යයකුම තම ශරීරය සහ ඇදුම් පැළදුම් වල පිරිසිදු බව, පිළිවෙල පිළිබඳව නිරන්තරයෙන් සැලකිල්ලෙන් පසු විය යුතුය. අපිරිසිදු බව සහ අපිළිවෙල සහිත ශිෂ්‍යයින් මෙම විද්‍යාලයට නොගැලපෙන සිසුන් සේ සලකනු ලැබේ.
  • ශිෂ්‍යාවන්ගේ නිල ඇදුම සකස් විය යුතු ආකාරය.
  • සියලුම ශිෂ්‍යාවන් සුදු පැහැ ගවුම තම නිල ඇදුම ලෙස යොදාගත යුතුය.
  • ගවුමේ කොලරය කර වැසෙන පරිදි සකස් කළ යුතු අතර එය නැවූ විට අඟල් 1, 42 ක් පළල විය යුතුය.
  • ගවුමේ ඉදිරිපස හා පසුපස ඉන දක්වා රැලි 5 බැගින් විය යුතු අතර ඒවා පෙට්ටි රැලි සාය ලෙස සකස් කළ යුතුය.
  • ගවුමේ උස සිටගත් විට දණහිස සම්පුර්ණයෙන් වැසෙන පරිදි සහ දණ ගැසූ විට පොළවේ ගෑවෙන ප්‍රමාණයට දික් විය යුතුය.
  • ඉදිරිපස බෙල්ලේ විවරය අඟල් 4 ක් විය යුතු අතර අයිලට් අල්ලා හෝ කටු ගසා පියවීම සිදු කළ යුතුය.
  • ගවුමේ ඉන ආසන්න වශයෙන් අත දිගහැරි විට අතේ ඉදිරි දාරය තෙක් විය යුතුය.
  • ඉන පටිය පළල අඟල් 1/2 ක් විය යුතු අතර එහි පසුපසින් ගවුමට සම්බන්ධ කර ලිහිල්ව නොසිටින අයුරින් අයිලට් අල්ලා පියවීම සිදු කළ යුතුය.
  • ඉදිරි පස නැවුම් දාරය ආසන්න වශයෙන් ඉන පටියේ මැද හා සමපාත විය යුතුය. ඉන පටිය ඉන වටේ ප්‍රමාණයට සරිලන දිගින් පමණක් විය යුතුය.
  • ගවුමේ පහළ වාටිය ආසන්න වශයෙන් අඟල් 2 1/2 ක් විය යුතුය.
  • ගවුමේ අත, තම වැලමිට සිට අඟල් 4 ක් පමණ ඉහලින් තිබිය යුතු අතර අනේ වාටිය ඇතුළු පසට වන සේ මසා තිබිය යුතුය. ගවුමේ අත, ශරීරයට තද වන සේ මැසීම සිදු නොකළ යුතු අතර අතේ වාටිය අගල් 4 ක් පමණ විය යුතුය.
  • ගවුමේ වම් අතේ පහළ කෙළවරට වන්නට සෑම ශිෂ්‍යාවකම තම පාසල් ලාංඡනය ස්ථිරව මසා තිබිය යුතුය.
  • ටයි පටිය ගැට ගැසූ පසු ඉන පටියේ සිට අඟල් 5 ක් පහළට වන සේ තිබිය යුතු අතර ටයි පටිය පහලින් ඔබ මොබ නොවන සේ කටුවකින් සවි කර තිබිය යුතුය.
  • ක්‍රීඩා කටයුතු සහ විශේෂ වැඩසටහන් වලදී අදාළ ගුරුභවතුන්ගේ අවසරය මත පමණක් වෙනත් අවස්ථෝචිත ඇදුමක් භාවිත කළ හැකි අතර පන්ති කාමර ඉගෙනුම් අවස්ථාවල දී ඉහත සඳහන් නිර්ණායක වලට සැකසූ නිල අදුමින් පමණක් සැරසී සිටිය යුතුය.
  • ශිෂ්‍යාවන්ගේ සපත්තු, මේස්, යට ඇදුම් සකස් විය යුතු ආකාරය.
  • ලේස් ගැටගැසිය හැකි හෝ වෙල්කුල් යෙදූ ඉදිරිපස රවුම් හැඩැනි සරල විලාසිතාවයකින් යුතු සුදු සපත්තු සුදු පැහැ මේස් සමගින් සෑම සිසුවකුම පැළදිය යුතුය.
  • උස අඩි සහිත සපත්තු පැළදීමට අවසර නැත. මේස් පැළදීමෙන් අනතුරුව ඉහළ කෙළවරෙන් දෙවරක් නැවිය යුතුය.
  • ශිෂ්‍ය හට සහ ක්‍රීඩා කටයුතු සඳහා සහභාගී වන සිසුන් අදාල විෂයයන් භාර ගුරු භවතුන්ගේ විශේෂ අවසරයක් මත කලු පැහැති කැන්වස් සපත්තු පැළදිය හැකි අතර ක්‍රීඩා සඳහා විශේෂයෙන් සකස් කරන ලද සපත්තු වර්ග පාසල් අධ්‍යයන කාලය තුළ පැළද සිටිය නොහැක.
  • කිසියම් ආබාධයක්, තුවාලයක් හෝ වෙනත් විශේෂ කරුණක් මත සපත්තු පැළදීමේ හැකියාවක් නොමැති නම් ඒ වෙනුවට තම පන්ති භාර ගුරුභවතාගේ හෝ විදුහල්පතිතුමන්ගේ අවසරය පිට කලු පැහැති රබර් සෙරෙප්පු දෙකක් භාවිතා කිරීමට නාවකාලිකව ඉඩ කඩ ලබාගත හැකිය.
  • සෑම ශිෂ්‍යාවකම තම අවශ්‍යතාවය අනුව ඒ ඒ වයස් මට්ටම් සඳහා උචිත වන පරිදි නම යට ඇදුම් ඇදීම සිදු කළ යුතුය.
  • ශිෂ්‍යාවන්ගේ හිස, නිය ආදිය සකස් විය යුතු ආකාරය.
  • දිග කොණ්ඩය මැදින් බෙදා කරල් දෙකකට ගෙතිය යුතුය. එය කෙළවරින් රතු පැහැ රිබන් පටියකින් ගැටගැසිය යුතුය.
  • කොණ්ඩය ඉදිරි පසින් කොටට කැපීම, අක්‍රමවත්ව අවුල්ව තිබීම සිදු නොවිය යුතුය.
  • කොණ්ඩය කපන ශිෂ්‍යාවන් තම කොණ්ඩය පැත්තට පිරිය හැකි වන පරිදි ක්‍රමවත්ව කපා සකස් කර ගත යුතුය.
  • කොණ්ඩය ගෙතීමට තරම් ප්‍රමාණවත්ව වැවී නොමැති ශිෂ්‍යාවන් කුඩා පෝනිටේල් දෙකක් ආකාරයට රතු රිබන් පටි වලින් ගැට ගැසිය යුතුය.
  • තම කොණ්ඩය නිරන්තරයෙන් පිළිවෙලට සකස් වී තිබිය යුතුය. කොණ්ඩය පීරීම සකස් කිරීම එළිමහනේ, කොරිඩෝවල, මග තොටේ දී සිදු නොකළ යුතුය.
  • හිසකේ වර්ණ ගැන්වීමට අවසර නොමැත. තවද විවිධ ආලේපන වර්ග යොදා කොණ්ඩය පීරීමට ද අවස්ථාව හිමි නොවේ.
  • සෑම ශිෂ්‍යාවකම නිරතුරුවම තම නිය කොටට කපා තිබිය යුතුය.
  • විවිධ සුවද විලවුන් වර්ග භාවිතා කිරීම.අධ්‍යනය කාල සීමාව තුළ හිස්වැසුම පැළදීම ආදිය සිදු නොකළ යුතුය.
  • සෑම ශිෂ්‍යාවක්ව වර්ණය සහ ඇදුම් පැළදුම් වල පිරිසිදු බව, පිළිවෙල පිළිබඳව නිරන්තරයෙන් සැලකිල්ලෙන් පසු විය යුතුය. අපිරිසිදු බව සහ අපිළිවෙල සහිත ශිෂ්‍යාවන් මෙම විද්‍යාලයට නොගැලපෙන සිසුන් සේ සලකානු ලැබේ.

වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයකු ශිෂ්‍යාවකගේ චරිතය හා විනය පිළිබඳව ඇගයීමේදී සැලකිළිමත් වන කරැණු

  • ඉදිරිපත් වීම.
  • අධ්‍යාපනික කටයුතු වලට ඉදිරිපත් වීම.
  • විෂය බාහිර කටයුතු සඳහා ඉදිරිපන් වීම.
  • නායකත්වය සඳහා ඉදිරිපත් වීම.
  • පාසලේ පොදු වැඩ කටයුතු සඳහා ඉදිරිපත් වීම
  • වගකීම් දැරීම.
  • නායකත්ව වගකීම් දැරීම.
  • පන්ති කාමර වගකීම් දැරීම.
  • ක්‍රීඩා සම්බන්ධ වගකීම් දැරීම.
  • අධ්‍යාපන කටයුතු සම්බන්ධ වගකීම් දැරීම.
  • කලට වේලාවට වැඩ කටයුතු කිරීම.
  • පාසල ආරම්භයට පෙර පාසලට පැමිණීම.
  • නියමිත වේලාවට අදාළ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වීම.
  • පාසල් සීනුවට අනුගතව කටයුතු කිරීම.
  • පැවරෙන අධ්‍යාපන කටයුතු නිසි වේලාවට නිම කිරීම.
  • දිනපතා පාසල් පැමිණීම.
  • ක්‍රියාශීලී බව.
  • අධ්‍යාපන කටයුතු උද්යෝගිමත් ලෙස කටයුතු කිරීම.
  • ක්‍රීඩා කටයුතු සහ විෂය සමගාමී කටයුතු සඳහා සම්බන්ධ වීම.
  • නායකත්වයට හා පරිපාලනයට අවනත වීම.
  • පන්ති නායක නායිකාවන්ට අවනත වීම.
  • ශිෂ්‍ය නායක නායිකාවන්ට අවනත වීම.
  • ක්‍රීඩා නායක නායිකාවන්ට අවනත වීම.
  • ගුරුභවතුන් සහ අනධ්‍යන කාර්යය මණ්ඩල නිලධාරීන් වෙත ගෞරව කිරීම සහ අවනත වීම.
  • විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, ආධ්‍යාපන ප්‍රධානීන්ට අවනත වීම් සහ ගරු කිරීම.
  • නීතිගරුක බව.
  • ‍විද්‍යාලයේ විනය නීතිරීතීන් අනුව කටයුතු කිරීම.
  • සංවර බව.
  • පන්ති කාමරය තුළ, පාසල් පරිසරය තුළ හා බාහිර සමාජය තුළ විනීතව හැසිරීම.
  • පාසලේ කීර්ති නාමය සුරැකෙන පරිදි තම ජීවන රටාව සකස් කර ගැනීම.
  • යහ පැවැත්ම.
  • පාසල් ශිෂ්‍යයකුට ශිෂ්‍යාවකට උචිත පරිදි හැසිරීම.
  • පාසලේ අභිමානය සුරැකීමට ගන්නා ක්‍රියාමාර්ග.
  • පාසල් ප්‍රජාවගෙන් ප්‍රසංශා ලැබෙන අයුරින් කටයුතු කිරීම.
  • පාසලේ වැඩ කටයුතු සඳහා දෙමව්පිය සහයෝගය.
  • පාසල් සංවර්ධන සමිතිය සඳහා සහභාගී වීම.
  • පන්ති රැස්වීම් සඳහා සහභාගී වීම.
  • ශ්‍රමදාන සහ පොදු වැඩ සඳහා ලබා දෙන සහයෝගය.
  • විදුහලෙන් ලබා දෙන නියෝග සහ නිවේදන පිළිබද දැනුවත් වීම.

 

ඉහත සඳහන් කරුණු ඔබ වෙත ලබා දෙන චරිත සහතිකයේ ඇතුළත කරණු ලබන අතර ඒ අනුව තම චරිත සහතිකය වඩා පිරිපුන් වටින සහතිකයක් බවට පත් කර ගැනීම ඔබගේ වගකීමකි.