වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය

බිබිල

පාසලේ ඉතිහාසය

මිස්සක දම් සිල්ලාර

පාසලේ පළමු වෙබ් අඩවිය

Still Updating

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, බිබිල අධ්‍යාපන කලාපයට අයත් 1AB කාණ්ඩයේ පාසලක් වන මෙම විද්‍යාලය පේරාදෙණිය සිට චෙන්කලඩි දක්වා විහිදී ඇති A5 මාර්ගයේ, බිබිල නගරයේ සිට බදුල්ල දක්වා වූ මාර්ගයේ කිලෝ මීටර් තුනක් ගිය විට මාර්ගයේ වම් පසින් පිහිටා ඇත. විද්‍යාලය නැගෙනහිරෙන් සහ දකුණෙන් ගල් ඔයෙන් මායිම් වූ කිලෝමීටර් භාගයක දිගින් යුත් අක්කර අටක භූමි භාගයකින් යුක්තය. මෙම විද්‍යාලයේ ආරම්භය පිළිබඳව ලිඛිත තොරතුරු නැතත් මුඛ පරම්පරාවට අනුව 1900 දී පමණ බිබිල-අම්පාර මාර්ගයේ පිහිටි බිබිල උසාවියට ආසන්නයේ මිෂනාරි පාසලක් ලෙස ආරම්භ වී ඇත. එය 1930 දී පමණ ගල්ඔය අසබඩ තිබෙන සුන්දර බිම්කඩක් වන මෙම භූමි භාගයට ගෙන එන ලදි. ආරම්භයේදී පාසලක් ලෙස පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක් පවත්වාගෙන ගිය අතර මෙම පොල්අතු සෙවිලි කළ විද්‍යාලයේ මුල්ම විදුහල්පතිවරයා වූයේ ඒ.ඒ.රාමනායක මහතා ය. මේ අතර 1933 දී ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකර ඇති අතර මෙය 1933/03/31 දින සිසු අයිතියට පත් කරන ලදි. මෙම යුගයේදී විද්‍යාලයේ ශිෂ්‍යයින් 18 දෙනකු සහ ශිෂ්‍යාවන් 04 දෙනකු ඉගෙනුම ලබා ඇත.

1935 සිට 1948 දක්වා ඒ.එම්. අබේකෝන් මහතා විදුහල්පති වශයෙන් සේවය කර ඇති අතර ඉන් අනතුරුව 1946 දක්වා විදුහල්පතිවරුන් තිදෙනෙක් සේවය කරන ලදි. ඔවුහු සිරියන් සිඤ්ඤෝ, එච්.එම්.ලොකුබණ්ඩා සහ ඒ.එම්. අත්තනායක යන අය වෙති. මෙම කාලවකවානුව තුළ පාසලේ විශේෂ සංවර්ධනයක් සිදු වූ බවට සාක්ෂි ලැබී නැත. එහෙත් මෙම කාලවකවානුව තුළ ශිෂ්‍ය සංඛ්‍යාව 25 සිට 50 දක්වා වැඩිවීමක් දක්නට ඇත. 1946 දී, සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මෙම විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත් කරන ලදි. මෙම විද්‍යාලය කන්නන්ගර මැතිතුමා විසින් දෙවන වටයට ආරම්භ කළ මධ්‍ය විද්‍යාල 51ට අයත් විය. ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මධ්‍ය විද්‍යාලය හා පස්සර මධ්‍ය විද්‍යාලය ආරම්භ වූ අතර මොනරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ එකම මධ්‍ය විද්‍යාලය මෙයයි. මෙම විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වූ පසු එහි විදුහල්පති බවට පත්වූයේ ඒ.බී. රත්නායක මහතාය. මේ වන විට මෙම විද්‍යාලයේ සිසු සංඛ්‍යාව 50ක් විය. මේ අතර 1947 වර්ෂයේදී මෙම විද්‍යාලය දෙවන වරට පන්ති කාමර ගොඩනැගිල්ලක් ඉදි කරනු ලැබූයේ ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකු වූ ජේමිස් අප්පුහාමි මහතාය.

1955 වර්ෂයේ දී විද්‍යාලයීය බාලක හා බාලිකා නේවාසිකාගාර ඉදිකිරීම සඳහා සර් ජෝන් කොතලාවල අග්‍රාමාත්‍යතුමා විසින් මුල්ගල තබන ලදී. මේ අතර විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන සිසුන්ට අධ්‍යාපනය ලැබීමේ වරම් ලබා දෙමින් විද්‍යාලයේ පළමු විද්‍යාගාරයේ ඉදිකරනු ලැබීය. පාසලේ අනන්‍යතාවය ඔප්පු ඔප්නැංවීම සඳහා 1957 වර්ෂයේදී එච්.වී.බිලියම් මහතා විසින් පාසල් ගීය නිර්මාණය කරන ලදි. 1960 වන විට විද්‍යාලයීය භූමිය අක්කර 33 ක් විය. මේ වන විට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 570ක් බවට පත් විය. මෙම යුගය වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ පමණක් නොව අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ඉඟිනියාගල, මහඔය ආදී ප්‍රදේශවල දරුවන්ටද, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන, හසලක , ලුණුගල ආදී ප්‍රදේශවල දරුවන්ටද නේවාසිකාගාරවල නවාතැන් ගනිමින් ඔවුන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වාගෙන යන්නට අවස්ථාව උදාවිය. මේ අතර මෙම විද්‍යාලයේ විද්‍යා අංශයෙන් විශාල උගතුන් සංඛ්‍යාවක් බිහිකිරීමට සමත් විය. මේ අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හා ගුරුවරුන් ඇතුළුව ක්ෂේත්‍රයේ විද්වතුන් විශාල ප්‍රමාණයක් මෙම යුගයේ බිහි වී ඇත. කලා හා වාණිජ අංශවලින් ද අධ්‍යාපන ලැබීමේ පහසුකම් මෙම යුගයේ දී පැවැත්වුණි. 1962 වර්ෂය වන විට විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 676ක් වූ අතර ගුරු මණ්ඩලය 19ක් විය.

1962 වර්ෂයේ පෙබරවාරි මස 5 වන දින බාලදක්ෂ බාලිකා කණ්ඩායම ආරම්භ කර ඇත. 1966 වර්ෂයේදී ගුරු මණ්ඩලය 27 දක්වාත් ශිෂ්‍ය සංඛ්‍යාව 688 දක්වාත් වැඩිවී ඇත. මෙම වර්ෂයේදී විද්‍යාලයේ ක්‍රීඩා පිටිය සඳහා විදුහල් භූමියේ සිට මීටර් 200 ක පමණ දුරින් වූ අක්කර 12ක් පමණ භූමිභාගයක් තෝරාගෙන ඇත. එක්දහස් නවසිය 1957 සිට 1963 දක්වා විද්‍යාලයේ සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර ඒ වන විට විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූයේ සී.බී.බිබලේ මහතාය. එතුමන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ සහෝදරයෙකි. මින් අනතුරුව විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙනුයේ 1963 - 1971 යුගයයි. මෙම යුගයේ විභාග ප්‍රතිඵල පමණක් නොව ශිෂ්‍ය විනය සහ විෂය සමගාමී කටයුතු වලින්ද විශාල දියුණුවක් ලගාකරගෙන ඇත. මෙම යුගයේ දී විදුහල්පති ධුරය දැරුවේ ජේ.එම්.පී. ජයසේකර මහතාය. මේ අතර 1972 සිට 1979 දක්වා තරමට අස්ථාවර යුගයක් පැවත්වුණි. ඒ වනවිට විදුහල්පතිවරුන් පස්දෙනකු සේවය කර ඇත. ඔවුහු කේ.බී කුරුප්පු මහතා, දේශප්‍රිය ලියනගේ මහතා, වී රණසිංහ මහතා සහ කෝලිත ජයසුන්දර මහතා යන අය වෙති. විද්‍යාලයේ නැවතත් ස්වර්ණමය යුගයක් ලෙස වාර්තා වන්නේ 19789-1983 යන කාලවකවානුවයි. මෙම යුගයේ දී පාසලේ සේවය කරන ලද්දේ ඒ.ඒ. වීරකෝන් මහතා ය. ඔහුගේ දැක්ම සහ දැඩි විනය නිසා දරුවන්ගේ විභාග ප්‍රතිඵල හා විෂය සමගාමී කටයුතු පමණක් නොව ගුණ ධර්ම සහ විනය ද ඉතා ඉහළම මට්ටමක පැවතුනි. මෙම කාලවකවානුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ හා ඉංජිනේරු ශ්‍රේෂ්ඨ ක්ෂේත්‍රයේ ප්‍රබලයන් විශාල සංඛ්‍යාවක් බිහි වී ඇති අතර කලා අංශයේ ද උගතුන් විශාල සංඛ්‍යාවක් බිහිවී ඇත. 1983 - 1984 දක්වා සේවය කළ ඩී.එම්. ධර්මදාස විදුහල්පතිතුමාගේ යුගයේදී මහඟු සේවයක් පාසලට ඉටු වූ අතර නැවතත් එම්.එම්. වීරකෝන් මහතා විදුහලේ විදුහල්පතිවරයා ලෙස පත් විය.

1989 කාලය දක්වා මෙතුමාගේ සේවය මෙම විද්‍යාලයට ලැබුණි. ඉන් අනතුරුව 1990 සිට 1999 දක්වා කාලය තුළ පාසලේ විදුහල්පති වූයේ පසු කලක ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.එම්. ජයසූරිය මහතාය. මෙම කාල වකවානුවේදී විද්‍යාලය විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ජයග්‍රහණ ලබාගෙන ඇත. 2011 වන විට විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාව 2130ක් හා ගුරු මණ්ඩලය 110ක් දක්වා වැඩිවී ඇත. ගොඩනැගිලි 32ක් ඉදිකරන ලදි. අක්කර 12ක භූමි ප්‍රදේශයක ප්‍රාථමික අංශය වෙනම පළාත් පාසලක් ලෙස වෙන් කරන ලදි. ජාතික පාසලක් බවට පත්කිරීමේදී අමරදාස විදුහල්පතිතුමා කටයුතු මෙහෙයවා ඇත.

2013 සිට 2020 දක්වා විදුහල්පති ලෙස සේවය කළ ඒ.එම්. කරුණාචන්ද්‍ර අධිකාරි විදුහල්පතිතුමා සමයේ ද විද්‍යාලයේ අඩපණව තිබූ විෂය සමගාමී හා බාහිර කටයුතු යළි පණ ගැන්වීමට දැඩි වෑයම් දරා ඇත. විද්‍යාලය විෂය සංවර්ධනය කිරීම කෙරෙහි මහත් සේවාවක් මෙතුමා විසින් ලබා දෙන ලදි. මේ සමය තුල බාලදක්ෂ, කරාතේ, පොලිස්-නාවික-යුධ-ගුවන් බාලක/බාලිකා ශිෂ්‍යභට, පරිසර නියමු, ජූඩෝ, මළළ ක්‍රීඩා, සෞන්දර්ය ආදී විශාල සමගාමී වැඩසටහන් ප්‍රමාණයක් මෙම විද්‍යාලයේ ආරම්භ කරන ලදි.

2020 සිට 2023 දක්වා මෙම විද්‍යාලයේ විදුහල්පති ලෙස S.B.ජයවර්ධන මහතා සේවය කල අතර විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් නව සැලසුම් රාශියක් ක්‍රියාත්මක කරන ලදී. විද්‍යාලයේ කලා , වාණිජ හා තාක්ෂණ ,විද්‍යා යන අංශ වලින් උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ඇති අතර මෑතක දී ආරම්භ කරන ලද 13 වසරක සහතික කරන ලද අඛණ්ඩ අධ්‍යාපනන වැඩසටහන ද සිසු දරුවන්ගේ අනාගතය සුභවාදී කිරීමට අවැසි මහගු සේවයක් ලබා දෙන අංශයක් බවට පත්විය.

2020 වර්ෂයේ ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගත තත්වය ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට මෙන්ම මෙම පාසලේ ද අධ්‍යාපන ක්‍රියාවලියට මහත් බාධාවක් එල්ල කරන්නට විය. කෙසේ වෙතත් මෙම අභියෝගය මත 2021 සිට ඉදිරියට විද්‍යාලයේ කටයුතු ගුණාත්මක තත්වයෙන් පවත්වා ගැනීමට කාර්යය මණ්ඩලය මහත් බලාපොරොත්තු සහගතව සිටින්නට විය.

කෙසේ වෙතත් 2021 වර්ෂයේ ආරම්භයේ පාසල් නැවත විවෘත්ත කළද කොවිඩ් 19 වසංගතය යලිත් වරක් දරුණු ලෙස ව්‍යාප්ත වීම නිසා පාසල් නැවත වසා දැමීමට සිදුවූ අතර වර්ෂය අවසාන භාගයේ නැවත ආරම්භ කරන ලදි. අදාළ වර්ෂය තුළ පාසල් වසා තැබීම ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයට මෙන්ම අප විද්‍යාලයට මහත් බලපෑමක් සිදු කරන ලදි. සිසුන් අධ්‍යාපන ක්‍රියාවලියෙන් වැඩි කාලයක් ඈත්ව සිටීම හේතුවෙන් ඔවුන් නැවත අධ්‍යාපන ක්‍රියාවලියට යොමුකර ගැනීමට මහත් වෑයමක් දරන්නට සිදුවිණි.

2022 වර්ෂය තුළ රටේ ඇති වූ ආර්ථික සහ දේශපාලන අර්බුධය පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට මහත් බලපෑමක් එල්ල කරන ලදි. මෙම අභියෝග හමුවේ වුවද අධ්‍යාපනික ජයග්‍රහණ රාශියක් මෙම වර්ශය තුළ අත්පත් කර ගැනීමට හැකි විය. පාසලේ ඇති ගැටළු කෙරෙහි අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ අවධානයක් ලැබුණ අතර අමාත්‍යංශ නිලධාරීන් විසින් විද්‍යාලය නිරීක්ෂණය කිරීමේ විශේෂ වැඩසටහනක් ද පැවැත්විණි. මහාචාර්යය සරත් කොටගම මහතා විසින් විද්‍යාලය වෙත ප්‍රධානය කර තිබූ අක්‍රීය මට්ටමේ පැවති පරිසර සම්පත් මධ්‍යස්ථානය නැවත ක්‍රියාත්මක කිරීමට ද මෙම වසර තුළ හැකි විය.

 

වර්තමාන තත්වය

2024 නව විදුහල්පති ලෙස ඒ.එච්.ටිකිරි බණ්ඩාර මහතා වැඩභාරගත් අතර පාසලේ අභිවෘද්ධිය උදෙසා විද්‍යාලයේ ඉදිරි කටයුතු ගුණාත්මක තත්වයෙන් පවත්වා ගැනීමට පියවර ගනිමින් සිටියි.

ආරම්භ කළ වර්ෂය - 1933.03.31
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව - 01
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව - 22
මුල් ගුරුතුමාගේ නම - ඒ.ඒ. රාමනායක මහතා
පාසලේ ආදි කතෘගේ නම - ඒ.ඒ. රාමනායක මහතා
පාසලේ මුල් ගොඩනැගිලි ගණන - 01
පාසලේ නම - වෙල්ලස්ස මධ්‍ය විද්‍යාලය
පාසල රජයට පවරාගත් දිනය -  1946

පාසල පැවැත්වූ ස්ථානය

-

බිබිල - අම්පාර මර්ගයේ පිහිටි බිබිල උසාවියට ආසන්නයේ
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව - 1933.03.31